නිදි නැති රැයක්
මට මතකයි පොඩි කාලේ කියවපු කතාවක්; ඒකේ කවුදෝ එයාගෙ ඇඟේ අමාරු ගැන කියන්නේ “මගෙ ඇඟ හරියට ලැවරියා වගේ” කියලා. ඒ වර්ණනාව හොඳින් මතකේ රැඳී තිබුනත් ලැවරියා කියන්නේ මොනවද කියලා මම දැනගත්තේ ඊට කාලෙකට පස්සේ. අද මට තේරෙනවා ඒ ගෑනී කිව්වේ මොකද්ද කියලා; ඇඟට කිසි පණක් නෑ - මලානිකයි, සුදුමැලියි. දැන් කාලේ (මගෙ) වචනයකින් කියනවානම් හොඳටම “ලාංතරස්”. ඊයෙ රෑ හරි නින්දක් නැති වීම ලාංතරස් ගතියේ මූළික හේතුව බව මට තේරුනා.
උදේ කෑමට මට කිසි පිරියක් තිබුනෙ නෑ. ඒ නිසා දවසේ පළමු කාර්ය හැටියට මම කාමරේ ඉතිරිවී තිබුන ඇඳුම්, පොත පත වැනි දේ ගමන් මල්ලේ අහුරා ගත්තා. මගේ පරමාර්තය වුනේ බඩු ඇසිරීමේ කටයුතු ඉක්මනින් ඉවර කර කැන්ටිමෙන් උදේට යමක් කෑමටයි. නීලා සමග දහයේ මීටිමෙන් දැනගන්න පුළුවන් එයාගෙ බ්ලොක් එකේ මටත් ෆ්ලැට් එකක් තියෙයිද කියලා. අවසාන වරට මගෙ නේවාසික ශාලාවේ කාමරෙන් ඉවත්වෙන්න තියෙන්නේ අද දවල් දොලහට.
“මෝනිං ලලිත්!”
“මෝනිං! මං හිතුවේ දහයට එන්නේ කියලා”
“ෆ්ලැට් එකේ ඉන්නවට වඩා හොඳයි කියලා හිතුනා අව්වේ ටිකක් ඇවිදින එක”
“මම ආවේ දහයට ඉස්සර මොනවාහරි කන්න හිතාගෙන … නීලටත් මොනවත් ඕනද? තේ? කෝපි?... පොල් රොටියි බල මාළුයි?”
මම විහිළුවක් කියලා හිතුවට ඒකට නීලට තරහ ගියා.
“මොකද්ද මේකේ තේරුම? ලලිත් නිකමටවත් හිතුවද තත්වේ බරපතළ කම ගැන? දිගටම ළපටි, ගොං විහිළු වලින්මද ජීවත් වෙන්න අදහස?”
මට හිතුනේ ඒ කතාව ටිකක් අසාධාරණයි කියලා. නමුත් මම කිසිම දෙයක් නොකියා කෑම සොයාගෙන ඇතුලට ගියා. විනාඩි දහයකට පස්සේ එලියට ආවේ බන්දේසියක ඔම්ලට් එකක්, ටෝස්ට් කෑලි දෙකක්, කේක් කෑල්ලකුත් කෝපි දෙකකුත් තියාගෙන. මම කෝපි එකෙකුත් කේක් කෑල්ලකුත් නීලා ඉදිරියෙන් තියලා ඔම්ලට් එක කන්න පටන්ගත්තා, කතාවක් නැතුව.
මම ආයෙත් නීලා දිහා බැලුවේ එයා “සොරි…” කියන සද්දේ ඇහිලා.
“ගණන් ගන්න එපා… කොහොමද කෝපි එක?”
“සොරි ලලිත්… ඇන්ඩ් තැන්ක්යූ… අපි පොඩි කාලේ ගාල්ලේ ගියාම තමා පොල් රොටියි බල මාළුයි කෑවේ…”
නීලගෙ ඇස් කඳුලින් පිරිලා. මට ටිකක් පවු කියලා හිතුනා.
“නීලා… අපි දෙන්නා මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්නේ යුද්ධ කරලා නෙවෙයි; එකට වැඩ කරලා. මට තේරෙනවා මේකේ බරපතළ කම. මටත් හිටියා පවුලක් - ඒක අමතක කරන්න බෑ… ඇයි දන්නවද මම මෙහෙන් උදේට කන්නේ? ඊයෙ රෑ වැඩි නින්දක් නෑ. පවුලේ සේරටම හිතිලා මට හීනෙන් පනිවිඩ එවන්න!”
“සොරි ලලිත්…”
“නෑ! ආයෙ අපි සොරි කියන්න ඕන නෑ කිසිම දේකට… ඇත්ත, මම නිතරම විහිළුවෙන් ඉන්නේ. පොඩි කාලෙත් එහෙමයි, තවමත් එහෙමයි. ඒක මෝඩ කමක් කියලා ඔයා හිතෙනවානම් ඒකට මට කරන්න දෙයක් නෑ. ඒ මම! මගෙ හීනත් මගෙ; කාගෙවත් නෙවෙයි. මගෙ හීන මෝඩ වෙන්න පුළුවන්, නමුත් මට තියෙන්නේ ඒ ටික විතරයි!”
මටම පුදුමයි මගෙ කතාවේ සැර. කතාව රළු වැඩිද කියලත් මට හිතුනා. නමුත් නීලගෙ මුහුණේ පොඩි හිනාවක් තිබුනා.
“හරි… ආයෙ සොරි කතා නෑ… මොනවද හීනෙන් දැක්කේ?”
මටත් හිනා ගියා.
“පළවෙනි එක, එක් නෑදෑයෙක් කියනවා එයා රෑට කාලා ගෙදර බැල්කනියේ ඉන්නකොට සීතල සුලං රොදක් ඇඟට දැනුනා කියලා. මට නොතේරෙන මොකද්දෝ හේතුවක් නිසා ඒ වෙලාවේ එයාට ලොකු කනගාටුවක් ඇතිවෙලා ලංකාවක් ආයෙ නෑ කියලා! හරියට නුවර පලාතේ සීතල සුලං නෑ වගේ! ඒ අදහස කොහෙන් ආවද මම දන්නෙ නෑ. ඊටත් වැඩිය, එයා හිතන්නේ ලංකාව ආපහු ගෙනෙන්න ඕන මමයි කියලා! දැන් තියෙන් බර මදි වගේ මගෙ ඔළුවට!”
මම එතනින් නැවැත්තුවෙ නෑ.
“තව එක්කෙනෙක් මට කියනවා… ඒත් හීනෙන්… ඊයෙ රෑ… මට කියනවා මම කනවා මදි කියලා. පොඩි කේක් කෑලි දෙකකුයි කෝපි දෙකකුයි දවසට ඇතිද කියලා අහනවා! හැබැයි අඩුගානේ එයා කියන්නෙ නෑ මුළු එකම මගෙ වැරැද්ද කියලා - එයාගෙ උත්තරේ අපි දෙන්නා වසංගතයක් හැදිලා මළානම් වැඩේ ඉවරයි කියලා… පේනව නේද; අපෙ පවුලේ සේරටම ටික ටික පිස්සු!”
ඒ සැරේ නිලා හොඳටම හිනා වෙනවා.
“මම ආයෙ කියන්නේ නෑ ලලිත්ගෙ කතා පිස්සුවත් මෝඩවත් කියලා”
“තැන්ක්යූ. කොහොමද ෆ්ලැට් එකේ වැඩේ”
“රයිට්… ෆ්ලැට් දෙකක් තියෙනවා,අදම වුනත් එන්න. එකක් මගෙ තට්ටුවේ, අනික උඩම තට්ටුවේ… මං ගෙනාවා ඇග්‍රීමන්ට් කොලයි ගණන් එහෙමයි… මෙන්න”
“තෑන්ක්ස්… මම දොලහට මල්ලත් අරගෙන, බැන්කුවෙන් සල්ලිත් අරගෙන එනවා එකට දෙකට. යටම තට්ටුවේ නේද ඔෆිස් එක?”
…………………………….
මම අළුත් නිවහනට ආවේ දෙකට විතර. ආවේ මගේ මල්ලත්, කඩෙන් ගත්ත පිඟන් කෝප්ප කිහිපයකුත් කෑම බීම ටිකකුත් අරගෙනයි. උඩම තට්ටුවේ ෆ්ලැට් එක ගන්න තීරණේකළේ එහි කුඩා බැල්කනියට ඈතින් පෙනෙන බ්‍රිස්බන් ගඟත් ගඟෙන් එගොඩ ‘වෙස්ට් එන්ඩ්’ නැමති සුන්දර උපනගරයත් නිසා. මල්ල නිදන කාමරයේ දමා කෝපි කෝප්පයකුත් සදාගෙන බැල්කනි පුටුවේ වාඩිවුනේ මගේ වර්තමාන තත්වය තක්සේරු කරන් බලාපොරොත්තුවෙන්.
මට දැන් නිවහනක් තියෙනවා; සල්ලි ඇත්නම් ඒකේ ඕනෑම කාලයක් නවතින්න පුළුවන්. බැංකුවේ දැනට ඇති සල්ලි තවමාස හයකට ඇතිවෙයි, පරෙස්සමෙන් වියදම් කළොත්. සල්ලි සොයාගන්න රස්සාවක් අවශ්‍යයි. නමුත් උප්පැන්න සහතික, වීසා පත්‍ර වැනි ලියකියවිලි නැතුව මගේ භූවිද්‍යා ක්ෂේත්රයේ උසස් රැකියාවක් ලබාගන්න අමාරුයි. එවැනි ආයතනයක කළහැක්කේ තාවකාලික ‘සහකාර’ රැකියාවක් පමණයි. එමෙන්ම ඒ ක්ෂේත්රයේ රැකියා වැඩිපුර නගරෙන් ඈත පලාත්වලයි තියෙන්නේ; මට නගරෙන් ඈත්වෙන්න බෑ මගේ ‘ලංකා ප්රශ්නය’ තේරුම් ගන්නාතෙක්.
හෙට උදේම සරසවි ශිෂ්‍ය සංගම් ගොඩනැගිලේ රැකියා දැන්වීම් පුවරු විපරම්කර බලන්න මම තීරණය කළා.
ගෙදරට තව අවශ්‍ය දේ බොහොමයි. සාස්පානක් දෙකක්, පිහි, හැඳි, ෆ්ර්යින්පෑන් එකක් ඕන වෙයි බිත්තරයක් වත් … මම ගැස්සිලා හිටගත්තා. මොනවද මම මේ හිතන්නේ - මගෙ රට, මග් පවුල, භාශාව, සංස්කෘතිය… මේ සේරම අතුරුදහන් වෙලා; මම බිත්තර බදින්න ප්ලෑන් කරනවා! මම වහාම පුටුවෙන් නැගිට්ටේ නීලගෙ කාමරේසොයා යන්නයි; අපිට ප්ලෑන් කරන්න මීට වඩා දහස් ගුනයක් වටිනා දේ තියෙනවා!
………………………
“නීලා මේ බිල්ඩිමේ කොහෙද ටෙලිෆෝන් එකක් තියෙන්නේ මට පාවිච්චි කරන්න පුළුවන්?”
“හැම තට්ටුවෙම එක කොනක තියෙනවා කාසි දාන ෆෝන් එකක්”
“රයිට්… මම මගේ ඩයරි එකේ ඉන්න සේරටම කෝල් කරනවා, දැන්. අර ඊයේ කියපු දැන්වීම ගැන් මොකවත් කළාද?”
“මම එකක් ලියලා ස්ටුඩන්ට් යූනියන් කට්ටියට දුන්නා. ඒ අයම අනික් යුනිවසිටි වලට යවනවා කිව්වා, අදම. ඒ කියන්නේ හෙට අනිද්දා වෙනකොට මුළු ඔස්ට්රේලියාම දන්නවා අපි සොයන දේ - ඊයේ හිතුවට වඩා ඉක්මනට උත්තර එන්න ඉඩ තියෙනවා. ස්ටුඩන්ට් යූනියන් එකේ සේරා පොරොන්දුවුනා එයාගෙ ඔෆිස් එක ආපහු එන උත්තර එකතු කරන්න”
“ශඃ! නියමයි”
“මේ අය අනික් යුනිවසිටි වලට දැන්වීම යවන්නේ ෆැක්ස් කරලා නිසා මම පිංතූරයක් වගේ පෙනෙන්න ශ්‍රී ලංකා කියලා සිංහලෙනුත් ලිව්වා!”
“මොලේ… ! ඒක මාර අදහස… මම විතරයි කිසි දෙයක් කරලා නැත්තේ, ගෙවල් සොයනවයි බිත්තර බදිනවයි ඇරුනුකොට ... දැන්වත් පටන්ගන්නවා එක එකාට ටෙලිෆෝන් කරලා බලන්න...”
“රයිට්… වැදගත් මොකවත් මතුවුනොත් මට කියනවා නේද?”
“හයට කොමන් රූම් එකේ?”
නමුත් කොතරම් කාසි ටෙලිෆෝන් එකට පූජා කළත් වැදගත් යමක් සොයාගන්න් සෑහෙන වෙලාවක් ගියා. පොතෙන් බලලා මම කතා කරපු මගේ ‘යාළුවෝ’ එකෙක්වත් දන්නෙ නෑ මම කොහෙන් ආපු කෙනෙක්ද කියලා. ටිකක් යාළු බව ඇත්ත නමුත් මා ගැන වැඩිය දන්නෙම නෑ; භූවිද්‍යා හදාරන බවත් XXXX බීර වලට කැමති බවත් ඇරුනුකොට. මා උපන් රටක් ගැන හිතුවේ එකම පුද්ගලයයි. මගේ වයසක කථිකාචාර්ය වරයෙක් වූ මිනිහා කිව්වේ “ලලිත්කුමාර පකිස්තානේ බව මම දන්නවා - නමුත් ඔය නම ආවේ කොහෙන්ද කියලා දන්නෙ නෑ!”.
වෙනස් උත්තරයක් ආවේ බලාපොරොත්තු නොවුන පැත්තකින්.
“හලෝ මයිකල්… මේ ලලිත්! අපි එකට ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා ගිය අවුරුද්දේ, හෙරන් අයිලන්ඩ් වලට?”
“මට මතකයි අපි බීර බීපු හැටි… කොහොමද ලලිත්? දැන් තීසිස් ලියලා ඉවරද?”
මිනිහට මාව මතකයි! මයිකල් ආවේ කිරිබති කියන ශාන්තිකර සාගරේ දිවයිනකින්. හොඳ මනුස්සයා.
මම ටිකක සද්ද නැතුව හිටියා, මගේ අදහස් එක්කාසු කරගන්න. මම කොහොමද කෙනෙක්ගෙන් අහන්නේ ‘ඔයා දන්නවද මම ඉපදුනේ කොහෙද?’ කියලා. නමුත් මම යමක් කියන්න ඉස්සර මයිකල් ආයෙත් කතා කළා.
“ලලිත්? මොකද සද්ද නැත්තේ? කරදරයක්ද?”
“කියන්න බැරි තරමේ කරදරයක් මයිකල්… මම හිතාගෙන හිටියේ අද ආපහු ගෙදර යන්න. මගෙ වැඩ ඔක්කම ඉවරයි… නමුත් ආපහු යන්න බෑ… කවදාවත්…”
ඒ සැරේ මයිකල් නිහඬයි. පසුබිමේ මයිකල්ගේ පවුලයි පොඩි පුතයි කතා කරනවා ඇහෙනවා.
“ලලිත් - කිසිම දෙයක් කියන්න එපා! එක ප්‍රශ්නෙකට උත්තර දෙනවද?”
“හ්ම්.. ඕකේ”
ආයෙත් මයිකලුයි එයාගෙ පවුලයි අතරේ කසු කුසුවක්; විනාඩියක් විතර. වචන නොතේරුනත් මට තේරෙනවා පොඩි විවාදයක් සිද්ධවෙනවා පසුබිමේ. අන්තිමට මයිකල් කතා කළා, බොහොම හෙමින්.
“ලලිත් දන්නවද මම ආවේ කොහෙන්ද කියලා?”
“ඔවු … කිරිබති නේද?”
ආයෙත් පසුබිමේ කතාව පටන්ගත්තා. සද්දේ වැඩිවුනත් ඒ කතාවේ ප්රචණ්ඩත්වයක් මට දැනුනෙ නෑ, ඒ වෙනුවට මට ඇහුනේ කුතුලයක්/පුදුමයක්; හරියට විශ්වාස කළ නොහැකි දෙයක් සිද්ධවුනා වගේ. විනාඩි දෙකකට විතර පස්සේ මයිකල්ගෙ කටහඬ ආයෙත් මගෙ කනට ආවා.
“ලලිත්ට පුළුවන්ද අපෙ ගෙදර එන්න රෑ කෑමට?”
මට ටිකක් හිතන්න ඕනවුනා. මම හිතාගෙන හිටියේ නීලාට ආරාධනා කරන්න මාත් එක්ක පබ් එකට ගිහින් රෑට කන්න; මගෙ අළුත් නිවස සොයා දීමට ස්තුති කිරීමක් හැටියට. නමුත් මයිකල්ගෙ කටහඬේ තිබුනා අමුතු ගතියක් - මගේ පැමිනීම එයාට වැදගත් බව පෙනවන.
“මොකොද මයිකල්, අද විශේෂ දවසක්ද?”
“ලලිත්… මේක තරම් විශේෂ දවසක් ආයෙ නෑ… කිරිබති කියලා රටක් ආයෙ නෑ! මම බැලුවා මම දන්න අය අතරේ වෙන රටවල් වලින් ආ කී දෙනෙක් ඉන්නවද කියලා. ශාන්තිකර සාගර කලාපෙන් ආ අය කිසි කෙනෙක් කිරිබති දන්නෙ නෑ! මට පිස්සු හැදිලා හිටියේ! අඩු ගානේ මගෙ පවුලයි පුතයි මෙහෙ. මම ඉන්ටනැශනල් හවුස් එකට කතා කරා ලලිත් ගැන බලන්න නමුත් ඔයා එතකොට එහෙ නෑ. හොඳ වෙලාවට ඔයා කෝල් කළේ!”
…………………………
“කවුද ඔය මයිකල් කියන්නේ?”
මම මගෙ ටෙලිෆෝනෙ කතා විස්තරේ නීලට කිව්වා.
“මම මගෙ පොතේ තිබුන නොම්බර සේරටම කතාකළා. එකෙකුටවත් මතක නෑ මම කොහෙන් ආවද කියලා… පොතේ හිටපු සමහර අය යාළුවෝම නොවූ බව ඇත්ත තමා; කීප දෙනෙක්ම සාප්පු වලින් බඩු ඩිලිවර් කරපු අය… නමුත් යළුවෝවත් දන්නෙ නැ මගෙ අග මුල! දන්නවා කියපු එකම මිනිහා - මගෙ ලෙක්චරර් කෙනෙක් - කිව්වා එයා දන්නවා මම පකිස්තානෙන් ආපු බව නමුත් නම පකිස්තාන නමක් නොවීම් ගැන එයා හිතුවා කියලා කිව්වා. අපිට කිසිම වැඩක් නෑ ඒ කතා වලින්”
“පස්සේ තමා මම මයිකල්ට කතාකළේ. මිනිහා මාත් එක්ක භූවිද්‍යා ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා. අඩි හයකටත් වැඩි උස කළු දීපවාසියෙක් ලේසියෙන් අමතක වෙන්නෙ නෑ! නිතරම හිනාවෙන් ඉන්න මයිකල් මට හොඳට ඇල්ලුවා. ට්‍රිප් එකේ හිටපු කළු මිනිස්සු දෙන්නා හැටියට අපි අතරේ සබඳ කමක් තිබුනා. දෙන්නම බීර බීමට කැමතිවීම තවත් රුකුලක් වුනා… හැබැයි මට වගේ නෙවෙයි, මයිකල්ට කොහෙ ගියත් කෙල්ලෝ වහවැටුනා! නමුත් බැඳලා පව්ලත් එක්ක මෙහෙ ඉන්න නිසා මිනිහට ඒ අවධානය ගාණක් නෑ. නිතරම පොලයිට් නමුත් එච්චරයි! අපි දෙන්නා යාළුවුනේ ඒ දවස්වල… අද මිනිහා කියපු හැටියට මිනිහටත් වෙලා තියෙන්නේ අපිට සිද්ධවුන දේමයි… මිනිහගෙ රටත් දැන් මේ ලෝකේ නෑ!”
“ඉතින් ඇයි ඔයා මට කතාකළේ එහෙ රෑ කෑමට යන්න?”
මම කෙලින්ම නීලා දිහා බැලුවා.
“මම හිතාගෙන හිටියේ නීලා ඩිනර් වලට පබ් එකට එක්ක යන්න; මගෙ අළුත් ෆ්ලැට් එක සෙලිබ්රේට් කරන්න… මයිකල්ගෙ ගෙදර ගියොත් අපිට එකට ඩිනර් ගන්න පුළුවන්… නොමිලේ!”
“මට ශුවර් නෑ එන්න ඕනද නැද්ද කියලා - මිනිහා මම දන්නෙත් නෑ!”
“නීලා… අපි දන්න තරමට මේ ලෝකේ දැනට ඉන්න ලාංකිකයෝ දෙන්නා අපි විතරයි! මයිකල් පවුල ලෝකේ ඉන්න එකම කිරිබති පවුල වෙන්න පුළුවන්… අපි එකම වලේ වැටිලා ඉන්නේ. මේ වලෙන් ගොඩ එන්න අපිට පුළුවන් තරම් සෙනග ඕන; එක එක්කෙනාගෙ කර උඩ නැගලා එලියට එන්නවත්! අපිට ඕන අපිට වෙලා තියෙන දේ ගැන පුළුවන් තරම් දැනගන්න/ඉගෙනගන්න. මයිකල් පවුලෙන් උදව් නොගත්තොත් අපි කොහෙන්ද/කොහොමද මේ ගැන දිගදුරට සොයා බලන්නේ?”
“නමුත් මයිකල් ඔයාගෙ යාළුවා - මගෙ යාළුවෙක් නෙවෙයි, ඩිනර් වලට යන්න!”
මම නැවතත් නීලගෙ ඇස් දෙක දිහා බැලුවා කෙලින්ම.
“ඔයාට තව යාළුවෝ කී දෙනෙක් ඉන්නවද ලංකාව ගැන කතා කරන්න?”